Wednesday 25 May 2011

කළු සුදු කියා නැත; ඇත්තේ අළු පාටයි


පුද්ගලයන්ට, යම් ක්‍රියාවන්ට, මූල ධර්මයන්ට, හැදියාවන්ට සහ සද්ගුණය ගැන කතා කරද්දී ‘හරි වැරදි කියලා එක පැත්තක් නැහැ’ කීම අහන්නට පුළුවන්.

ඉංග්‍රීසියෙන් කියද්දී good and evil වගේම සිංහලෙන් කියද්දී ද ‘හොඳ නරක’ යැයි සඳහනක් වන්නේ ඇයි? නිතරම හොඳ මුලින් සඳහන් වන්නේ ඇයි?
කළු සහ සුදු නැත්නම් අළු තියෙන්නට ද බැරි ය. අළුපාට නම් කළු සහ සුදු පාටවල්හි සංකලනයකි. ඒ නිසා අළු ගැන කියන්නට පෙර කළු ගැන හා සුදු ගැන කියා පැහැදිලි කරගත යුතුය.
සද්ගුණය ගැන සාකච්ඡාවක දී හොඳ මොනවා ද, ඊ ළඟට නරක මොනවා ද යන්න පැහැදිලි කරගත යුතුය.
ආර්ථික ක්‍රමයක් ගැන සොයා යෑමක දී එකක් හොඳ නම් අනික නරක නම් සංකලනයක් කුමකට ද? නරක පැත්තෙන් ඇබිත්තක් වත් ගා ගෙන එය අළුපාට යැයි කියන්නේ ‍කුමකට ද? දෙපැත්තම එකයි යයි කියද්දී අදහස් කරන්නේ අළුපාටින් යුතු වීම නොවේ ද?
සද්ගුණය ගැන කතාබහක දී යාන්තමින් හෝ නරක ගෑවිච්ච විට (අළුපාට වූ විට) තව දුරටත් එතැන ‘සද්ගුණයක්’ තියෙන්නක් වන්නේ කොහොම ද?
හොඳක් කරන්නට යන අයෙක් විසින්
හොඳ චේතනාවක් පෙරදැරි කරගෙන ක්‍රියාවක් නිසා නරකක් වූ කල එය අළුපාට යැයි කිව නොහැකිය. සද්ගුණය ගැන කතාබහේ දී චේතනාව හොඳ නිසා ක්‍රියාව සුදු බවින් ම යුතුය.
හොඳ කරන චේතනාවෙන් යන පුද්ගලයා අතින් වූ ක්‍රියාවකින් සිද්ධ වූ නරක අවංක වැරදීමකි (honest error). එහෙත් නරක ප්‍රතිඵල දැක දැක තව තවත් එහි නැවත නැවතත් නියැළෙනවා නම් ඔහුගේ චේතනාව හොඳ යැයි කිය නොහැකිය.
පුද්ගලයාට දැනුම නොමැති කම නිසා සද්ගුණයට හානියක් සිද්ධ නොවේ. කිසිම සද්ගුණයක් ගැන විමර්ශනයක දී සද්ගුණය සොයන පුද්ගලයා අතින් වැරදි සිද්ධ නොවේ (infallible) හෝ පුද්ගලයා සියල්ල දන්නවා (omniscient) යැයි අපේක්ෂා නොවේ. තමන් දන්නා පමණින් හොඳ චේතනාවෙන් හොඳ වැඩ කිරීම සද්ගුණය වෙයි.
හොඳ චේතනාවක් සුදු පාටින් මිසක අළු පාටින් දකින්නේ කවුද?
සද්ගුණය ගැන විමසන්නට කම්මැලි නිසා, වැඩ අධික නිසා, අකමැති නිසා, දෙනෙත් පියා වෙනතක් බලා සිටීමෙන් මනස වැසී යයි. චින්තනය අඩාල වෙයි. සිද්ධියට පාදක සාධක බැහැර ලා ‘නොදැන සිටින්නට’ වෙහෙසන අය අප අතර බොහෝ වැඩිය. සුදු ගැන සොයන්නට උවමනාවක් නැති ඔවුන් අළුපාට නොවෙති. ඔවුන් කළු පැහැයම ගන්නෝය.
‘ලෝකේ කවුරුත් සර්ව සාධාරණ නැහැ’; ‍’ලෝකෙ කවුරුත් සම්පූර්ණයෙන් නිවැරදි නැහැ’; ‘කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු ටික ටික තියෙනවා’ යනාදියෙන් සද්ගුණය යනු කුමක්දැයි නොසොයා මුග්ධතාවයේ සිටීමෙන් සද්ගුණය යන්න කුමක් දැයි පැහැදිලි කිරීම අන්දබූත කරන්නට හැකිය.
එයින් හැමෝම කළු හා සුදු මිශ්‍රණයකින් යුතු යැයි කියා පිළිගැනීමක් සිද්ධ වේ.
පුද්ගලයාට තෝරා ගැනීමේ හැකියාවක් ඇති බව සද්ගුණය ගැන කතාබහේ දී සැලකිල්ලට ගත යුතුය. මේ තරම් පිරිසක් මෙසේ කරන නිසා හෝ මේ තරම් පිරිසක් එසේ නොකරන නිසා යැයි ගැලවෙන්නට ඔබ ‍කරන තෝරා ගැනීම තුලින් නොහැකි ය. හොඳ හෝ නරක තෝරා ගන්නේ ඔබයි. එහි අයිතිය ඔබගේ ය. එහි ප්‍රතිඵල අත්විඳින්නේ ද ඔබම ය.
පුද්ගලයා තෝරා ගැනීමක් ඉදිරියේ සිටිනා විට තමන්ට කළින් වූ දහදෙනා මෙය තෝරාගත් නිසා යැයි කියා තෝරා ගන්නට හැකි පිහිටක් නැත. දහයක් වුවත් මිලියන දහයක් වුවත් වැරද්ද තෝරා ගැනීම කරන්නේ නම් 11 වැනියා එම වරැද්දම තෝරාගත යුතු යැයි රීතියක් ලොව නැත.
බොහෝ මිනිසුන් සද්ගුණය අතින් හොඳ නොවීමට හේතු බොහොමයකි. නමුත් එය අළුපාට ගැන කතාබහක් නොවේ. තමන් ඉදිරියේ වූ තෝරාගැනීම් වලින් කළු සහ සුදු දෙකින් එකක් තෝරා ගැනීමේ ඉඩකඩ ප්‍රතික්ෂේප කරන්නා සද්ගුණය අළුපාට යැයි කියන්නට ඉඩ දී සුදුපාට ඇතැයි දැකීම ප්‍රතික්ෂේප කරන්නෙකි.
සද්ගුණය සහමුලින් බැහැරලන්නට සූදානම් නැත්නම් කළු හෝ සුදු දෙකින් එකක් තෝරා ගත යුතුය.
බඩගිනි නිසා පාන් ගෙඩියක් හොරාගෙන කඩෙන් පැන දිව්ව අය හා ඊර්ෂ්‍යාව නිසා තව අයෙක් මැරූ අයෙක් යන දෙදෙනාම අළු පැහැති යයි කියන්නා ඒකීය පුද්ගලිකත්වය අමතක කරයි. ඔවුන් හඳුනාගත හැක්කේ, විනිශ්චය කළ හැක්කේ කළු සුදු කුමක් දැයි පැහැදිලි ක්‍රමවේදයක් නිර්වචනය කිරීමෙන් පමණි.
‘හැම සිද්ධියකම පැති දෙකක් තියෙනවා’ යැයි කීම පැත්තක් නොගෙන ඉන්නට යොදන තවත් සමාවට කාරණයකි. මෙසේ කියන අය අඟවන්නේ කිසිවෙක් සම්පූර්ණයෙන් හරි හෝ සම්පූර්ණයෙන් වැරදි නොවන බව යැයි ඇඟවූවත්, ඒ කියමන නිසා ඒ සිද්ධිය ගැන සම්පූර්ණ විනිශ්චයක් කරන්නට, දෙපැත්තම සලකා බලන්නට ඔවුනට අවශ්‍යතාවයක් ඇති නොවේ. ඉන් හරි වැරදි සලකා බැලීමෙන් වැළකී සිටිය හැකිය.
සංකීර්ණ වූ සිද්ධියක දී අයෙක් හරි සහ වැරදි වලින් දෙකින්ම යුතු නොවෙයි යන්න මෙහි දී අදහස් නොකෙරේ. ඒ සංකීර්ණ වූ සිද්ධියේ දී ඒ ඒ එක් එක් අංගයන් සුවිශේෂී ලෙසින් සලකා බලා ඉන් කුමක් හරි ද කුමක් වැරදි ද යන්න ගැන විනිශ්චයන් ගැනීමට නොපසුබට විය යුතුය. අපරාධ ගණනාවක් ඇතුලත් වන සංකීර්ණ නඩුවක් විභාගයේ දී ඒ ඒ අපරාධය වෙන වෙනම සලකා බලන්නේ එහෙයිනි.
සද්ගුණය ගැන කතාබහේ දී සැලකිල්ලට ලක්වන්නේ පුද්ගලයාට ගතහැකි තෝරා ගැනීම් පමණක් ගැන වූ කළ ‘කළු හා සුදු යැයි පැති දෙකක් නැත’ යන්න ‘පුද්ගලයා හොඳ හෝ නරක වන්නට නොහැකිය’ යන්න බවට පත්වෙයි.
අපි අයෙක් දිහා බලා ඔහු අළු අයෙක් යැයි නොකියමු. ඔහු හොඳ අයෙක් යැයි හෝ නරක අයෙක් යැයි කියමු. ඇයගේ මේ මේ ක්‍රියා හොඳයි ‍මේ මේ ක්‍රියා නරකයි යයි කියමු.
යම් අයෙකුගේ යම් ගතියක් ගැන කතා කරද්දී ඒක හොඳත් නෑ නරකත් නෑ යයි කියන්නේ අපිට ඒ ගැන කිසිම තැකීමක් නැතිකල නොවේ ද?!!
එසේම යම් රටක පාලන ක්‍රමයක් හෝ ආර්ථික ක්‍රමයක් ගැන කතා කරද්දී ‘පුද්ගල අයිතිය’ යන්න හොඳ ද නැද්ද යන්න ඒ ගැන වූ සංවාදයකින් තීරණය විය යුතුය.
පුද්ගල අයිතිය නම් ඒකීය වූ පුද්ගලයාට තම තෝරා ගැනීම් සඳහා වූ නිදහස ය. තම කැමැත්ත අනුව වැඩ කිරීමට හෝ නොකර සිටීමට, තම වෙහෙස යොදවන තරමට අනුව ආදායමක් ලැබීමට හෝ නොලැබීමට ඇති නිදහස ය. තම උවමනාවට අනුව ඉගෙනීමට හෝ ඉගෙන නොගැනීමට ඇති ඉඩයි. තමා වෙනුවෙන් තමන් වගකීමක් ගැනීම ය. තම වරද සඳහා තමන් දඬුවම් විඳීම ය. වන්දි ගෙවීම ය.
පුද්ගල අයිතිය නැති සමාජවල දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරයන්, දේශපාලනඥයන්, ආගමික නායකයන් යනාදී වූ පීඩකයෝ පුද්ගලයා වෙනුවෙන් වැඩි තීරණ ගනියි. මේ තීරණ ගන්නා පීඩකයෝ ගන්නා සමහර තීරණ නිසා හොඳ සිද්ධ වෙන්න ඉඩකඩ නැතැයි නොකියැවේ. එහෙත් ජයග්‍රහණ සහ පරාජයන් ගැන වගකීම ද එවිට බාර වෙන්නේ පුද්ගලයාට නොව දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරයන්, දේශපාලනඥයන් හා ආගමික නායකයන් යනාදීන් ට ය. පුද්ගලයාට තමන් වෙනුවෙන් වගකීමක් ‍ගන්නට සිද්ධ නොවේ. මන්ද පුද්ගලයා කරන්නේ අනුන් ගත් තීරණ ය. එහෙම නම් පුද්ගලයා දඬුවම් විඳිය යුතු ද නොවන්නේ ය. මන්ද පුද්ගලයා අතින් වූ වැරදි අනුන්ගේ වැරදි ය.

ඉතින් පුද්ගල අයිතිය කළු ද සුදු ද?

4 comments:

  1. me loke kawurut kalu ayat na sudu ayath na sampurnayenma , inne alu ayai.namut e de therum ganna kal yanawa wedi.api lagin innna ayage apata penne sudu pettha witharai.namut mokak ho deyakin tharaha wuna kiyala hithamu ethakota apita wedipura penne e ayage kalu pettha witharamai. eth e hamoma alupatai.e gathiguna athin.minisun kathawen,rupen maninna ba e aya hodada narakada kiyala, eyalage kriyawen thama e de kiyanna puluwan.e de hema agamakinma kiyawenawa ne. loke jeewathwana hemoma hodai naraki kiyala depathakata wen karanna ba.inne e 2 atharameda ayai.oya me kiyala thiyana hema deyakma ethha. oyage blog 1 ta witharak seema nokara oyage jeewithayatat gannawanam tama godakma hoda.idiriyatat me wage hoda dewal karanna kiyala wish karanawa

    ReplyDelete
  2. oyage blog 1 thiyana hema deyakma etta.e de cmnt karanna beriuna

    ReplyDelete
  3. tx oyage adahas walata... aththatama sathutui..
    hmmm aththa :D oya man gena danne nahane...
    inna me site ekath ekkama man gana aduna ganna puluwan idiriyedi :)

    ReplyDelete
  4. tx. api aduraganimu

    ReplyDelete